රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලීට ලබන 28 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග

Share

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කළේයැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ඒ මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ කාල වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණු අතර ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් 10,000ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන හෙයින් ඒ මහතාට ලබන 28 වන දා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (19) අවසර ලබා දී තිබුණි.

Read more

Local News