සහරාන් මහනුවර මුරුතළාවේ ඉඩමක් නිරීක්ෂණය කළ හැටි

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට ඊයේ (22) වැඩම කළේ මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේය.

 

උන්වහන්සේ කොමිසමට පැවසුවේ මහනුවර, මුරුතලාව නගරයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩමක් 2014 වසරේ සැප්තැම්බර් 23 වන දා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන එහි නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීමට 2014 නොවැම්බර් 9 වන දා වැඩ කටයුතු ආරම්භ කළ බවය.

කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය අවට ඇති ඉඩම් මුස්ලිම් ජනතාවට අයත් බව පැවසූ ධම්මරතන හිමි ඒ අවට තවත් ඉඩම් මුදල් ගෙවා ලබාගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කළ බවද පැවසූහ.

2016 ජුනි මස දිනකදී ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග තමන් වහන්සේ විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මුස්ලිම් ජාතිකයින් 5 දෙනෙකු විහාරස්ථානය අසළ තිබූ ඉඩමක් නිරීක්ෂණය කරන ආකාරය තමන් දුටු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ සිටි කුඩා හිමිනමක් ජංගම දුරකථනයකින් අදාළ මුස්ලිම් ජාතිකයින් පිරිස ඡායාරූපයට නගා තිබූ අතර එහි තැඹිලි පැහැයට හුරු ඇඳුමක් හැඳ ජටාවකින් සැරසී සිටියේ සහරාන් හෂීම් බව ධම්මරතන හිමියන් කොමිසමට අනාවරණ කළහ.

මද වේලාවකින් සංඝාවාසය අසල දී අදාළ පිරිස සමග සිටි සහරාන් හෂීම් තමන් කාත්තන්කුඩියේ සිට පැමිණි බව සඳහන් කළ බවත් ඔහුට හොඳින් සිංහල කතා කිරීමට හැකියාව තිබුණු බවත් ධම්මරතන හිමි ප්‍රකාශ කළහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ අදාළ මුස්ලිම් පිරිස නිරීක්ෂණය කළ “ඉඩම මිලදී ගැනීමට ඔබවහන්සේ විරුද්ධ වන්නේ දැයි” එහිදී සහරාන් තමන් වහන්සේගෙන් විමසූ බවය.

ඊට තමන් විරුද්ධ බව ප්‍රකාශ කිරීමත් සමග සහරාන් ප්‍රකාශ කර තිබුණේ කිසිවිටෙක එහි පල්ලියක් ඉදි නොකරන බවත් එම ඉඩමේ “Center” එකක් එනම් “මධ්‍යස්ථානයක්” ඉදි කරන බවත්ය.

එලෙස ඔවුන් අදාළ ඉඩමේ ඉදි කිරීමට නියමිත වන්නේ සමාජ සේවා මධ්‍යස්ථානයක්යැයි ඒ වන විට තමන් වහන්සේට හැඟී ගිය බවද ධම්මරතන හිමි ප්‍රකාශ කළහ.

එමෙන්ම සහරාන් හෂීම්ට ගම්පොල, අම්බුලුවාව සම්බන්ධයෙන් ද මනා අවබෝධයක් තිබූ බවත් ධම්මරතන හිමි පැවසූහ.

සර්ව ආගමික සුහදත්වයෙන් මෙම ස්ථානයේදීත් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් සහරාන් මෙම යෝජනාවට විරුද්ධ නොවන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් ඔවුන් පිටව ගිය පසු සහරාන් ඇතුලු පිරිස නිරීක්ෂණය කළ ඉඩම හිමි මුස්ලිම් ජාතිකයාගෙන් “ඔබ මෙය විකුණනවා දැයි” තමන් වහන්සේ විමසූ විට ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉඩම විකිණීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවය.

ඉන්පසු නැවත දෙවන වරට සහරාන් 2017 මාර්තු මස දිනකදීත්, තුන්වන වරට 2017 වසරේ අගෝස්තු මාසයේ දීත් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ තිබූ බව ධම්මරතන හිමියන් පැවසූහ.

එම අවස්ථාවලදී පැමිණි සහරාන් ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගම්වල සංස්කෘතිකාංග පිළිබඳව සාකච්ඡා කළත් ඔහු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට චෝදනා කර තිබුණේ මුස්ලිම් ප්‍රජාවට නායකයින් නොමැති බවද පවසමිනි.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටියත් මෙරට වතු කම්කරු ජනතාව ඔහුට සහාය නොදුන් බවත් එසේ සහාය දුන්නානම් වතු කම්කරු ජනතාව අද දුක් විඳින්නේ නොමැති බවත් එදින සහරාන් හෂීම් වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ට ප්‍රකාශ කර තිබුණි.

 

Read more

Local News