ඉස්සර කාලේ වෛද්‍යවරුන් වසංගත වලින් ආරක්ෂා වෙන්න භාවිතා කළ පැළඳුම්

බටහිර යුරෝපයේ දාහත්වන සියවසේ දී මහාමාරිය වසංගතය වේගයෙන් පැතිරුණා. මේ වංගතයේ රෝගෙ වාහකයා ලෙස විශ්වාස කෙරුනේ රෝගබීජ රැගත් වාතය යි.

 

රෝගකාරක රැගත් අපිරිසිදු වාතයෙන් ගැළවීම සඳහා රෝගීන් හා නිතර ගැටුණු වෛද්‍යවරුන් අමුතුම ආකාරයේ ඇඳුමක් භාවිත කළා. මෙම ඇඳුම හිසේ සිට දෙපතුළ දක්වාම වැසුණු සම් හෝ ඉටි ආලේපිත කැන්වස් රෙද්දෙන් මැසුණක්. පදම් කළ සම් සඳහා මිල අඩු ආදේශකයක් ලෙස මෙම ඉටි ආලේපිත කැන්වස් රෙද්ද යොදාගැණුනේ වසංගත සමයේ ඇතැම් ප්‍රදේශ මුහුණපෑ දුර්වල ආර්ථික තත්ත්වය නිසා යි.

හිස් වැස්ම

වර්තමානයේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩල භාවිතා කරන ලා නිල් පැහති හිස් ආවරණය වෙනුවට, දාහත් වැනි සියවසේ ‘වසංගත වෛද්‍යවරුන්’ පළල් වාටියක් සහිත සම් තොප්පියක් භාවිතා කළා. එය හිසට තදකර තැබුණේ සම් පටි භාවිතයෙනුයි.

මුහුණු ආවරණය

අද අපි නාසය හා මුඛය හරහා විශබීජ සංසරණය වීම වැළැක්වීමට පරීක්ෂණාගාර තුළ ඉතා උසස් තත්ත්වයෙන් සැලසුම් කර, සෞඛ්‍යාරක්ෂිතව නිර්මාණය කර භාවිතා කරන නූතන මුඛ ආවරණ සහ ඇස් ආවරණයන් භාවිතා කරනවා. නමුත් ඒ වෙනුවට දාහත් වැනි සියවසේ දී යොදාගැනුනේ පදම් කළ සම් භාවිතයෙන් නිමවන ලද මුහුණු ආවරණයක්. එහි ඇස් ආවරණ සඳහා යොදා තිබුණේ රවුම් හැඩැති වීදුරු යි.

මෙම මුහුණු ආවරණයේ කැපී පෙනෙන කොටස වන නාසය සහ මුඛය ආවරණය වන ප්‍රදේශය කුරුළු හොටයක හැඩයට පදම් කළ සම්වලින් නිර්මාණය වූවක්. මෙහි හුස්ම ගැනීම සඳහා කුඩා සිදුරු දෙකක් යොදා තිබුණු අතර මේ කුරුළු හොටය සුගන්ධවත් වියළි කුළුබඩු, වියළි මල්, සුගන්ධවත් ඖෂධ පැළෑටි කොටස් ආදියෙන් පුරවා තිබුණේ විශබීජ සහිත අපිරිසිදු වාතය නාසය හා කට ඔස්සේ ශරීරයට ඇතුළු වීමට පෙර මෙම ඖෂධ ද්‍රව්‍ය හරහා හමා ඒම නිසා පිරිසිදු වනු ඇතැ යි විශ්වාසයෙන්. සුවඳ ද්‍රව්‍ය යොදාගැනීමේ තවත් අරමුණක් වුණේ රෝගය නිසා මහමඟ දහස් ගණනින් මියගොස්, නරක් වෙමින් පැවති සිරුරුවලින් හමා එන දුර්ගන්ධය ස්වල්පයකින් හෝ මකා දැමීම යි.

කමිසය සහ කබාය

පැරණි වසංගත වෛද්‍යවරුන්ගේ ඇඳුම සම් කමිසයකින් හා කබායකින් ද සමන්විත වූවක්. සම් කමිසය කලිසමට හොඳින් යටකර ඇඳිය යුතු වූයේ අහිතකර වාතය ශරීරයේ ගැටීම අවම කිරීමට යි. කබාය බොහෝවිට ලේ සහ දූවිලි පැල්ලම් සැඟවීම සඳහා කළු හෝ අඳුරු පැහැයෙන් නිපදවූවක්. මෙය උරහිසේ සිට වළළුකර දක්වාම කඩා හැළෙන ලෙස නිර්මාණය කර තිබුණේ ඉදිරිපසින් විවෘත කිරීමට නොහැකි වන අයුරිනුයි.

අත් වැසුම්

වර්තමානයේ භාවිතා කෙරෙන, වරක් භාවිතා කර ඉවත ලන තුනී රබර් අත්වැසුම් වෙනුවට මහාමාරිය වසංගත සමයේ දී සම් අත්වැසුම් භාවිතා වුණා. සෑම දිනකම තම කාර්‍යයන් ආරම්භ කිරීමට පෙර වෛද්යවරුන් තම අත්වැසුම්වල සිදුරු කිසිවක් තිබේදැ යි පරීක්ශා කළ යුතු වුණා.

යෂ්ඨිය

දාරුමය සැරයටිය වෛද්‍යවරුන්ට ආරක්ශිත දුරක සිට රෝගියාව හැසිරවීමට උපකාරී වුණා. එය ඔවුන්ට රෝගියාව පරීක්ශා කිරීමට, හැරවීමට, සහ රෝගීන්ගේ සිරුරේ ඇති ඇඳුම් එහා මෙහා කිරීමට සහායක් වුණා. ඇතැම් අවස්ථාවන්වල රෝගීන් වෛද්‍යවරුන් අසලට පැමිණ ඔවුන්ගෙන් උදව් ඉල්ලා සිටීම නිසා, එවැනි පුද්ගලයින්ගේ ස්පර්ශයෙන් වැළකී සිටීමට මෙම යශ්ඨිය නිසා හැකියාව ලැබුණා. මෙම යශ්ඨියේ දිග රටින් රටට වෙනස් වූ නමුත්, මෙය සෑම විටම දැවයෙන් නිර්මාණය කෙරුණක්.

කලිසම

ඉටි ආලේපිත ඝන කැන්වස් රෙද්දෙන් මැසුණු කලිසමේ පහළ කොටස බූට් සපත්තුවලට ගැටගසා තිබුණේ අපිරිසිදු වාතය ඇතුල්වීම වැළක්වීමට යි. මෙය වෛද්‍යවරුන්ට අවශ්‍ය උපකරණ සහ කුඩා බෙහෙත් මළු රඳවා තැබිය හැකි බඳ පටියකින් සමන්විතව තිබුණා.

පාවහන්

වසංගත වෛද්‍යවරුන් උස බූට් සපත්තු භාවිතා කළ අතර, ඒවා සත්ත්ව සම්වලින් නිශ්පාදනය කරනු ලැබූ ඒවා යි.

මහාමාරිය වසංගත සමයේ දී රෝගයෙන් ආරක්ෂාව පතා වෛද්‍යවරුන් භාවිතා කළ මෙම ඇඳුම් කට්ටලය ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු වන චාල්ස් ද ලෝර්මේ විසින් එක්දහස් හයසිය දහ නවයේ දී නිර්මාණය කරනු ලැබූවක්. යුරෝපයේ අතිවිශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් වසංගත සමයේ දී කුරුලු හොට හැඩැති මුහුණු ආවරණය පැළඳි වෛද්‍යවරයෙකු කිසිවෙකුගේ නිවස අසල දක්නට ලැබීමම ඒ නිවසට අරක්ගෙන ඇති මරණය පිළිබඳ සංකේතයක් වුණා.