පාඨලී චම්පිකට එරෙහි නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් මසට කල්යයි

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද(28) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස ක්‍රියා කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මඩල විත්තිකරුවන්ට අදාළව පෙර නියම කළ ඇපයට අදාළ කොන්දේසි සපුරා ඇති ආකාරය විනිසුරුවරයා විසින් සලකා බැලුවේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News