ඇවන්ගාඩ් සභාපතිට එරෙහි නඩුවක් දෙසැම්බර් මස යළි කැඳවයි

Share

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි දෙසැම්බර් මස 18 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද(03) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම නඩුවේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට අවසර දී තිබෙන අභියාචනාධිකරණය මෙම මහාධිකරණ නඩු විභාගය තාවකාලික ලෙස අත්හිටුවන ලෙස දන්වමින් ඉකුත් දා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරිය
නියම කළාය.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Read more

Local News