නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් විසිරි ගියහොත් හානි සිදුවිය හැකි ප්‍රදේශ

Share

ඊයේ දිනයේ පිපිරිමට ලක්වූ නැගෙනහිර  මුහුදේ දී ගිනි ගනිමින් පවතින නෞකාවේ ඇති වු ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 270,000ක් වු බොර තෙල් සංචිතයට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව නාවික හමුදාව සදහන් කරයි.

 

ගින්න එම බොරතෙල් ගබඩා දෙසට පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ද නාවික හමුදාව පවසයි.

ආපදාවට ලක්වු නෞකාව අද (04) උදෑසන වන විට නාවික සැතපුම් 12ක් පමණ ගොඩබිම දෙසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් කිහිපයක් සමග නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වන බවයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, තවමත් තෙල් විසිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවය.

“මේ නැව ඇතුළේ කුඩා පිපිරීම් කිහිපයක් වාර්තා වී තියෙනවා. ඒ වගේම නැවේ බදේ මේ වන විට ඉරිතැලීම් කිහිපයක් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අනුව අපට දැන ගැනීමට ලැබී තිබෙනවා, මේ අනුව අපි අනුමාන කරනවා තෙල් පිපිරීමක් ඕනෑම වේලාවක සිදුවිය හැකි බවට. “ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කාලයත් සමග එම නැව වෙරළට ළඟා වෙනු ඇතැයි අනුමාන කරන බව ද පැවසු ඒ මහතා, මේ වන විට නැව සංගමන්කන්දට උතුරින් නාවික සැතපුම් 25ක් පමණ ඈතින් ස්ථාන ගතවී ඇතැයි ද කියා සිටියේය.

“යම් හෙයකින් මෙයින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත්වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් ඉන්නවා“ යනුවෙන් ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

මේ අතර, ඉන්ධන නෞකාවේ  සිටි එක් නාවිකයෙකු එහි එන්ජින් කාමරයේ බොයිලේරුවක ඇති වූ පිපිරීමෙන් මියගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩපැවැත්වීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවය.

පැනමා රාජ්‍යයට අයත් “නිව් ඩයමන්ඩ්“ ඉන්ධන ප්‍රවාහන  නෞකාවේ ගින්න හටගත්තේ, කුවේට් හී මිනා අල් අහමදී වරායෙන් පිටත්වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන්කරමින් සිටින අතරතුරදිය.

අනතුරට ලක්වන අවස්ථාව වන විට  නෞකාව අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් වූ නැගෙනහිර මුහුදේ ස්ථාන ගතව තිබුණි.

Read more

Local News