නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කෙරේ

Share

මේ වන විට ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පැතිරිම පාලනය කර තිබෙන බව වාර්තා වෙයි.

 

නෞකාවේ හටගත් ගින්න පාලනය කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

ඊයේ (04) පස්වරු 07.00 පමණ වන මෙරට නාවික හා ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින්  “නිව් ඩයමන්ඩ්” නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබෙන අතර ඔවුන්ගේ ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මේ බව සඳහන් කර තිබුණි.

නෞකාව ශ්‍රී ලංකා වෙරළ දෙසට ගසාගෙන ඒම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති අතර ගැඹුරු මුහුද දෙසට නෞකාව ඇදගෙන යමින් සිටින බව නාවික හමුදාව පවසයි.

“නිව් ඩයමන්ඩ්” නෞකාව අම්පාර සංගමන්කන්දට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී පසුගිය 03 වන දින පෙරවරුවේ ගිනි ගැනිමට ලක්විය.

නෞකාවේ බොයිලේරුවක සිදු වූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන තිබූ අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 23 දෙනාගෙන් 22 දෙනෙකු බේරාගැනිමට නාවික හමුදාව සමත් වූ අතර ගින්නට හසුවිමෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.

කුවේට් හි සිට බොරතෙල් ටොන් 270,000ක් දහසක පමණ ප්‍රමාණයක් ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව පැනමා රාජ්‍යයට අයත් වූවකි.

ගින්න මැඩපැවැත්විම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ සහය ද ඒ සඳහා හිමිව තිබුණි.

අද (05) දිනයේ මෙම නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහන්ඳපුර මහත්මිය සඳහන් කළාය.

නෞකාවේ ඉන්ධන හුවමාරු කිරිම මෙරට මුහුදු සීමාව තුළ සිදු කිරීමට අවසර ලබා නොදෙන බව දර්ශනී ලහන්ඳපුර මහත්මිය සඳහන් කළාය.

Read more

Local News