නිදහසට එරෙහි දූෂණය, අල්ලස, ‍හොරකම සහ නාස්තිය පිටුදැකීමට කැපවිය යුතුයි – ජනපති

Share

70 වැනි ජාතික නිදහස් දින සැමරුම් මහෝත්සවය ඊයේ (04) උදේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති අවස්ථාවේදී ජාතිය අමතා අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේ දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීමයි.

දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙස තමා දකින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සෞභාග්‍යයේ නිදහස අත්පත් කරගැනීම සඳහා අපේ මව්බිම පෙළගැසී සිටින මේ මොහොතේ එම නිදහසට එරෙහි දූෂණය, අල්ලස, ‍හොරකම සහ නාස්තිය පිටුදැකීමට කැපවිය යුතුයි.

සෑම දේශපාලනඥයකුම තමාගේ වගකීම් ඉටුකිරීමේදී ක්‍රියාවෙන්ම එම ආදර්ශය ලබාදීම අත්‍යාවශ්‍ය යුග මෙහෙවරකි.

නිදහස ලබා වසර හැත්තෑවක් තුළ අප ලබා ඇති අත්දැකීම් ඇසුරින් රටේ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීමේ වැදගත්කම හුවා දැක්වූ ජනාධිපතිතුමා සංවර්ධනයේදී පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම මඟින් රටට අයහපත් ප්‍රතිඵල අත්වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

දේශප්‍රේමීත්වය යන්න විවිධ යුගවලදී විවිධාකාරයෙන් අර්ථගැන්වී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමානයේදී සැබෑ දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද කියා සිටියේය. ඒ සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සැබෑ නිදහස අර්ථවත්වීමට නම් පුද්ගලයාගේ පමණක් නොව ස්වභාවධර්මයේ ද නිදහස ආරක්ෂා කරමින් පරිසරය සහ පුද්ගලයා අතර මනා සමතුලිතතාවක් ගොඩනඟාගත යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය

Read more

Local News