විග්නේශ්වරන්ට එරෙහි නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරයි

Share

දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයක් මත අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

 

මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සම අද(16) කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිලිකාර උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අභියාචනයක් ඉල්ලා අස්කර ගැනීමට වගඋත්තරකාර විග්නේශ්වරන් සහ ආනන්දී සසීදරන් යන පාර්ශ්ව එකඟතාව පළ කර ඇති හෙයින් මෙම පැමිණිල්ලට අදාළ විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට තම සේවාදායකයා අපේක්ෂා නොකරන බව දැනුම් දුන්නේය.

එම අවස්ථාවේදී විග්නේශ්වරන් සහ ආනන්දී සසීදරන් යන පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගඊශ්වරන් මහතා ද අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අභියාචනය ඉවත්කර ගැනීමට කැමැත්ත පළ කරන බවය.

එම එකඟතාවය මත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්ට හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන ආනන්දී සසීදරන් සහ එස්. සිවනේසන් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ ය.

2018 වසරේ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් එවක එම පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනිශ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඩෙනිෂ්වරන් මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර ලැබීය.

Read more

Local News