20ට එරෙහිව අදත් පෙත්සම් හයක් – සමස්ත පෙත්සම් ගණන 18ක්

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද(25) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 18ක් ඉදිරිපත් වී තිබේ.

 

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා දක්වා තිබේ.

අද දිනයේ තරුණ නීතිඥ සංගමය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව ඉකුත් මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු ආචාර්ය අජන්තා පෙරේරා, ඕෂල හේරත්, ජෙරාන් ජෙගදීසන් සහ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන යන අය විසින් තවත් පෙත්සමක් ගොනු කර ඇත.

ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවක සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, ලංකා ගුරු සංගමය, පුරවැසියන් වශයෙන් ටී.ඩී.බී විජේගුණවර්ධන සහ ජී.කේ.ආර් පෙරේරා යන අය විසින්ද අද දිනයේ පෙත්සම් ගොනු කර තිබේ.

ඊට අමතරව හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී ඉලංගෝවන් සහ සමගි තරුණ බලවේගය සංවිධානයේ සාමාජිකයින් ද වන මරින් ලිහිණි ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් ඊයේ(24) දින තවත් පෙත්සම් 06 ක් ගොනු කළේය.

නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි  විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන පාර්ශව හයක් විසින් පෙරේදා දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.

ඒ අනුව විසිවන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 18කි.

එම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතළ ලෙස උල්ලංඝනය කරන බවය.

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News