රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිඳු අවස්ථාවක රට කැඩීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පස්වරුවේ මාතර හක්මන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්විය. එහිදී ජනපති සඳහන් කළේ,

ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළේ දී රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඩීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. රට කඩන සහ රට බෙදන බවට දේශපාලන වේදිකාවේ ගෙන යන සටන් පාඨවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර ජනතාව එම බොරු ප්‍රචාරවලට හසු නොවිය යුතු බවයි.

උතුරේ ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ හඬක් නැඟුණේ අද ඊයේ නොවන අතර එය දීර්ඝ කාලයක් පුරා නැගුණු හඬක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු රජයකින් ඊට ඉඩක් නොලැබුණා සේම රට කැඩීමට හා බෙදීමට කිසිවෙකුට අවශ්‍ය වුව ද තමාගෙන් ද කිසිසේත් ඊට ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සැමදා මේ රට ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පැවසූ ජනාධිපතිතුමා හෙට දවසේ ද අන් සියලු දේශපාලන පක්ෂවලට වඩා රට ආරක්ෂා කරන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද පැවසීය.

 

රටේ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය බිඳ දමමින් එහි වාසිය දූෂිත දේශපාලනඥයින්ට ලබාදීමට අලුත් පක්ෂ පිහිටුවාගෙන සිදු කරන දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළගැසෙන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා සමස්ත ජනතාවට කියා සිටියේෙ.

Read more

Local News