පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් වෙයි

Share

ජනවාරි 10 දින පැවැත්වීමට නියමිත 2018 – පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ සඳහා ඡන්දදායකයන් 1,724,309 සුදුසුකම් ලබා සිටිති. ගම්පහ දිස්ත්‍රික්කයෙහි මහ නගර සභා 2ක්, නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 12ක් සඳහා සභිකයින් 688 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13ක් සහ ස්වාධීන කණ්ඩායම් 15කින් අපේක්ෂක, අපේක්ෂිකාවන් 4,407 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සඳහන් කළේය.
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායක සංඛ්‍යාව 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාවට වඩා 86,772 කුගේ වැඩිවීමකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13හි මධ්‍යස්ථාන 1,222ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනු ඇත.
මේ අනුව මීගමුව මහ නගර සභාව සඳහා සභිකයින් 48 දෙනෙකු, ගම්පහ මහ නගර සභාව සඳහා සභිකයින් 28කු, වත්තල – මාබෝල නගර සභාව සඳහා සභිකයින් 16කු, කටුනායක – සීදුව නගර සභාව සඳහා සභිකයින් 18කු, මිනුවන්ගොඩ නගර සභාව සඳහා සභිකයින් 15කු, ජාඇල නගර සභාව සඳහා සභිකයින් 16කු සහ පෑලියගොඩ නගර සභාව සඳහා සභිකයින් 16කු තෝරා පත් කර ගැනීමට නියමිතය.
වත්තල ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 35 දෙනෙකු, කටාන ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 41කු, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 43කු, මීරිගම ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 48කු, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 46කු, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 50කු,  ගම්පහ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 36කු, ජාඇළ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 43කු, මහර ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 55කු, දොම්පේ ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 41කු, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 53කු සහ කැලණිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 40කු තෝරා පත් කර ගැනෙනු ඇත.
දිස්ත්‍රික්කයෙහි මැතිවරණ රාජකාරීන් සඳහා රාජ්‍ය නිලධාරීන් 12,000 පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත්, පොලිසියට අමතරව අවශ්‍යතාවක් ඇතිවුවහොත් හමුදා නිලධාරී සහායද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රකාශ කරයි.

Read more

Local News