මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5,452ක්

Share

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5,452 දෙනෙකු යොදවන බව බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශයට අයත් කැලණිය, ගම්පහ සහ මීගමුව යන පොලිස් අධිකාරී කොට්ඨාස මගින් මෙම නිලධාරීන් යෙදවීම බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සිදු කිරීමට නියමිතය.

කැලණිය පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ 12 සඳහා පොලිස් නිලධාරීන් 1,732 දෙනෙකු ආරක්ෂාව සඳහා යෙදවෙන අතර මුර සංචාරක කණ්ඩායම් 73ක් සහ කැරලි මර්දන ඒකක 11ක් ද යොදවනු ඇත.

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ 14 සඳහා පොලිස් නිලධාරීන් 2,364 දෙනෙකු ආරක්ෂාව සඳහා යෙදවෙන අතර මුර සංචාරක කණ්ඩායම් 122ක් සහ කැරලි මර්දන ඒකක 4ක් යෙදවීමට පියවර ගෙන තිබේ.

මීගමුව පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ 11 සඳහා පොලිස් නිලධාරීන් 1,356 දෙනෙකු යෙදවෙන අතර මුර සංචාරක කණ්ඩයම් 61ක් සහ කැරලි මර්දන ඒකක 3ක් යෙදවෙනු ඇත.

මෙලෙස මහජනතාව වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් හමුදාවේ සහය ද ලබා ගැනීම සඳහා සියලු කටයුතු යොදා ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, කැලණිය පොලිස් අධිකාරී ජේ.ඒ.යූ.පී.ජයසිංහ සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත් බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

Read more

Local News