අද සිට රාජකාරි කටයුතු නිවසේ දී කරන්න පුළුවන්

Share

අද දිනයේ සිට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කර තිබේ.

 

ඒ අනුව, ඒ ඒ ආයතන සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පැවසීය.

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට පසුගියදා නියෝග කෙරුණි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කළ බවයි.

වෛරස ව්‍යාප්තිය නිසා සංචරණය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වේ.

එසේම එම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන ද දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

එසේම එක් එක් ආයතනයවල දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයින්ගේ තීරණය කිරීමේ බලය ද ආයතන ප්‍රධානියාට පැවරෙනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අනතුරුව අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් සහිතව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින් නිවසේ සිට රාජකාරි කළ යුත්තේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වන අතර ඇඳිරි නීතිය පනවා නොමැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකි වේ.

නිවසේ සිට වැඩ සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැකියි.

මෙම ක්‍රමවේදය කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නැයි අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

Read more

Local News