ඖෂධ මෙරටදී ම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් – මාස 06 ක ඖෂධ තොග රැස්කර තබා ගැනීමට තීරණයක්

Share

ඖෂධ බෙදාහැරිම විධිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ මාස 06 ක තොග සැපයුමක් රැස්කර තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඖෂධ සැපයිම සඳහා අවශ්‍ය මුදල් ලබාදී ඇති බව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා දේශීය ඖෂධ මිල දී ගැනීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබන බව ද සඳහන් කරයි. ඖෂධ හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දෛනිකව සාකච්ඡා කර ඖෂධ තොග වාර්තා ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තරව නිපදවන ඖෂධ කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනඒම සදහා වෙනම අංශයක් ස්ථාපිත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත බදවා ගන්නා ලෙස ද දැනුම් දෙන ලදි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදී ම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

Read more

Local News