අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරයි

Share

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12ක් දක්වා ඉහළ නැංවීමට අදාළව 1979 අංක 15 දරක අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව මෙම වයස් සීමා අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමටත්, වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් වන විට චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීමේ දී එහි බැරෑරුම්කම තේරුම් ගැනීමට තරම් මේරු බුද්ධියක් අදාළ ළමයාට තිබුණේද යන්න පිළිබඳ ව තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ලබාදීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කෙරෙනු ඇත.
මෙවැනි අවස්ථාවකදී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළැඹීමට විශේෂඥ සහාය ලබාගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි වන පිණිස එකී ළමයා රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන සලකමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලබන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
වර්තමානයේ දී පවතින ශ්‍රී ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 08කට අඩු ළමයෙකුට අපරාධ වගකීම පවරනු නොලැබේ. එහෙත් මෙය ඉතා ලාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වේ.

Read more

Local News