Tuesday, March 19, 2024.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගුවන් යානයක් කුලියට ගනී

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 22ක් උදෙසා සති දෙකකින් පසු දකුණු අප්‍රිකාව බලා යෑමට නියමිත ගුවන් යානයක් කුලියට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙයි.

 

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස මේ කුලියට ගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් බලා පිටත් කර යැවීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම සංචාරය නිමාකොට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී වෙනම කුලියට ගත් ගුවන් යානයක් උපයෝගී කර ගැනීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා පැවසීය.

දකුණු අප්‍රිකා සංචාරය නිමා වූ වහාම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ යුතු හෙයින් වඩාත් ආරක්ෂිත ලෙස ඉදිරි සංචාර ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමා වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට පැමිණි පසු දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදු වුවහොත් එංගලන්ත සංචාරයට බාධාවක් ඇති වීමට ඉඩ ඇති හෙයින් මේ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ පිළිබඳ කොරෝනා මර්දන ජාතික සෞඛ්‍ය බළකාය වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වැනිදා පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ලබන ජනවාරි 3 වැනිදා ආරම්භ වී 7වැනිදා නිමාවට පත්වේ.

එංගලන්ත පිල සමඟ පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ආරක්ෂිත පියවරක් ලෙස එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සංචාර දෙකේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දින 45ක පමණ කාලයක් නිවෙස්වලට නොගොස් ටෙස්ට් තරගාවලි දෙකට සහභාගි වීමට සිදුව ඇත.

එබැවින් දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩකයන් සිටින ජෛව බුබුලේ සිට කෙලින්ම කුලී ගුවන් යානය ඔස්සේ ශ්‍රී ලංකාවේ ජෛව බුබුළට ඇතුළු කිරීමට සිදුව ඇත. එවිට කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමේ පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති හෙයින් එලෙස කටයුතු කිරීම සඳහා අවසරය දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා මර්දන ජාතික සෞඛ්‍ය බළකායෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අනුමැතිය දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා විශ්වාසය පළ කළේය. “දකුණු අප්‍රිකාව හා එංගලන්ත කණ්ඩායම් සමඟ දැනට නියම කර ඇති දින වකවානු වෙනස් කරන්න කිසිදු ඉඩක් නෑ. ඒ නිසා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට ගැලපෙන ආරක්ෂිත ක්‍රමවේද සකස් කිරීමට අපට සිදු වෙනවා. අපේ ක්‍රීඩකයන් සංචාර දෙක ඇතුළත කාලයේ වෙනත් කිසිදු බාහිර තැනකට යන්නේ නෑ. දකුණු අප්‍රිකාවේ සිට කුලියට ගත් ගුවන් යානයෙන් පැමිණ කෙළින්ම හෝටලයට යා යුතුයි. ක්‍රීඩකයන් යන්නේ පීසීආර් පරීක්ෂණවලින් පසු දින 7කින් පසුව ක්‍රීඩා පිටියට. ඒ නිසා ප්‍රශ්නයක් නොවන බව අප කොරෝනා මර්දන ජාතික සෞඛ්‍ය බළකාය වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. අප විශ්වාස කරනවා ඒ සඳහා අනුමැතිය ලැබෙයි කියා” සිල්වා මහතා පැවැසීය.

මාස 11ට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය සංවිධානය කර ඇති අතර, ඒ සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ටෙස්ට් සංචිතය ද නම් කොට ඇත.

එල්පීඑල් තරගාවලිය නිමා වූ වහාම ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව බලා පිටත්වන අතර, දකුණු අප්‍රිකාවේ කොරෝනා නිරෝධායන නීති දැඩි නොවන බැවින් ක්‍රීඩකයන් දින 14කට කලින් දකුණු අප්‍රිකාවට යෑමේ අවශ්‍යතාව අදාළ නොවේ. මේ වසරේ මුල් කාර්තුවේ සිට ඇති වූ කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා බංග්ලාදේශය සමඟ තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, දකුණු අප්‍රිකාව හා එංගලන්තය පමණක් ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇත.

Read more

Local News