රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහා සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබෙනවා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දැනට සිරදඬුවම් විදින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද (24) එස් තුරෙයි රාජා , යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මස 09 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙහි දී විනිසුරු තුරෙයි රාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුළ දී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියා.

Read more

Local News