වසරකටත් අඩු කාලයක් තුල ඉන්ධන මිල සීයට තුන්සීයකින් ඉහළ දැමූ ලෝකයේ එකම රට බවට දැන් ශ්රී ලංකාව පත්ව තිබෙනවා.
ලංකාවට තෙල් දෙන්න ලෝකයේ සමාගම් හතළිහක්ම බැහැ කිව්වා. මේ විදිහට අපේ රට ප්රතික්ෂේප වූ පළමු අවස්ථාවත් මෙයයි.
ඉන්ධන නැතිකම සහ අසීමිත අසාධාරණ සහ නින්දිත ආකාරයට මිල ඉහළ දැමීම නිසා දැන් රටම ලොක්ඩවුන් තත්වයට පත්වෙමින් තිබෙනවා. සමස්ත ජන ජීවිතයම අද අකර්මන්ය වෙමින් තිබෙනවා.
මුළු රටම පැරලයිස්.
ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල දැන් වාර්තා වෙමින් තිබෙනවා.
වසරකටත් අඩු කාලයක් තුළ සියයට තුන්සීයකින් ඉන්ධන මිල ඉහළ ගිහින්. ඊටත් වඩා නරකම තත්වය සතියක් පුරා එක ම ඉන්ධන පෝලිමේ තාම නතර වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට සිද්ධ වෙලා.
තෙල් නැවක් ගෙන්න ගන්න සමාගම් හතළිහක් පමණ එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් කවුරුත් අපට දෙන්න බැහැ කියලා.
පසුගිය ජනවාරි සිට තෙල් සැපයුම්කරුවන්ට තාම මුදල් ගෙවලා නැහැ. ඩොලර් මිලියන 735ක් ගෙවන්න තියෙනවා. එන්න තිබුණු නැවත් අත් පිට මුදල් ඉල්ලුවා. ඒ තරමටම මේ රට දැන් අවිශ්වාසයි. අතේ සතේ නැති හිඟන රටක් කියලා තෙල් සමාගම්කාරයිනුත් තීන්දු කරලා. ඉන්ධන ඇමති කාංචනට අනුව නැවක් එන දිනය කියන්නවත් හිතාගන්නවත් බැහැ.
නැති ඉන්ධන බෙදන්න ටෝකන් එකක් දෙන්න යනවා. ටෝකන් දීලා ගෙදරටම කෝල් එකකුත් අරන් කියනවාලු දැන් තෙල් ආවා එන්න ගහගන්න කියලා.
අද ටෝකන් එක ලැබුනොත් ලබන අවුරුද්දේ විතර දුරකථන ඇමතුමක් ඒවි එන්න තෙල් ගහගන්න කියලා. මේ ඉන්ධන නැතිකම සහ මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු සියයට හතළිහකින් වැඩි වෙනවා. වැඩි කරලාවත් දුවන්න ඉන්ධන තියෙන්න ඕනනේ නේද?
හෙට අනිද්දට බස් ටිකත් මහපාරේම ගාල් කරන්න වේවි. ත්රීවීල් ටිකත් නතර වේවි. පාසැල් වෑන් රථ, ගාන වැඩි කරන්න හදනවා. ඒ කරලත් දුවන්න ඉන්ධන නැහැ.
මාලු සහ එළවළු ප්රවහනයත් ඇනහිටින තැනකට දැන් රට පත්වෙමින් තිබෙනවා.



