මහින්ද සහ බැසිල් ඇතුලු පිරිසකට විදේශ ගමන් තහනමක් ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට

Share

ජූනි 17 වන දින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් තවත් තිදෙනෙකු සමඟ එක්ව පොදු යහපත උදෙසා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FRA/212/2022) ගොනු කරන ලදි.

පෙත්සම සඳහා අවසරය ලබා දීම සම්බන්ධයෙන් තීරණය කිරීම (leave to proceed) ජූලි 01 වන දින අධිකරණයේ දී සැලකිල්ලට ගන්නා ලදි. මෙහි දී, වගඋත්තරකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අදාළ පෙත්සම ඒ හා සමාන ස්වභාවයක් ඇති වෙනත් පෙත්සමක් (SCFR 195/2022) සමඟ ම විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදි. මෙම ඉල්ලීම සලකා බලන ලෙස අධිකරණය විසින් අගවිනිසුරු වෙත යොමු කරන ලදි. එලෙස සලකා බැලීමෙන් පසු ජූලි 27 වන දින එය විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සඳුදා (ජූලි 11) අධිකරණයේ දී මෝසමක් ගොනු කරන ලදි. මුල් පෙත්සමෙහි ඉල්ලා ඇති අතුරු නියෝගය ලබා ගැනීමට සහාය වන තර්ක ඉදිරිපත් කිරීම උදෙසා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් එහි ඇතුළත් විය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන අයට විදේශ ගමන්වල යෙදීම තහනම් කරමින්, නඩුව පවත්නා කාලය අතරතුර අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෝසමෙන් ඉල්ලා ඇති පරිදි විදේශ ගමන්වල යෙදීම වැළැක්වීම සලකා බැලීමට ජූලි 14 දින නියම වී ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට මෙහි නම් කර ඇති වගඋත්තරකරුවන් සෘජුව ම වග කියන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං ගොනු කළ පෙත්සමෙහි සඳහන් වේ. වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන්, අදාළ වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී, අත්තනෝමතික, අයුතු ක්‍රියා හෝ අතපසුවීම් වෙනුවෙන් ඔවුන් වග කිව යුත්තන් කළ යුතු බවට පෙත්සම ඉල්ලා සිටියි.

Read more

Local News