මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.
මුතුරාජා හස්තියා හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය වෙත තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව ඇය විසින් අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර දීමට පියවර ගැනුණා.
නමුත් එම හස්තියා බාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරටවලට මුහුණ දුන් බව පසුව වාර්තා වුණා.
එම නිසා මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය බාරයට පත් කළා.
දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවනවා.
මුතුරාජා හස්තියා නැවත තායිලන්තය රැගෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වු නිසා මුතුරාජා හස්තියා මෙරටම රඳවා ගැනීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ තබා ගෙන රැක බලා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර තිබෙන නිසා තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.
මේ වනවිට එම හස්තියා දෙහිවල සත්වෝද්‍යානය තුළ ඉතාමත් යහපත් තත්ත්වයෙන් පසුවන බවත්, එම හස්තියා බැලීමට පැමිණි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිතුමා මුතුරාජා රැක බලා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.



