ජනපති දිවයිනෙන් පිටත්ව යයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.

එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිතය.

Read more

Local News