පාපන්දු තහනම ඉවත්කර ගැනීමට බෙදී සිටි සියල්ලන් එක්වූ හැටි

Share

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියේ ඇමැති රොෂාන් රණසිංහගේ කාර්යභාරය මේ වන විට අවසන්ව ඇති බවත් එම අදියරයේ තමන්ගේ කාර්යභාරය ලෙස ලබන 14 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා පාපන්දු නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදු කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් පවසනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් මුදාගැනීම සඳහා සියලු පාපන්දු ලීග ප්‍රධානීන් එක මේසයකට කැදවා එක මතයක සිටිමින් පිටකෝට්ටේ බැද්දගාන පිහිටි පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ පැවැති පැවති මාධ්‍ය හමුවේ දී
ජස්වර් උමර් ඒ බව සඳහන් කළා.

ලබන 14 වැනිදා ප.ව.2.00 ට කොළඹ පදනම් ආයතනයේදී එම මහා සභා රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද ඒ සඳහා සහභාගී වන ලෙස සියලු පාපන්දු ලීග නියෝජිතයන්ට දැනුම් දී ඇති බව ද ඒ අයගේ සහභාගීත්වය එදින අනිවාර්යෙන් බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියා.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනි දා සියලු දෙනාගේ එකමුතුවෙන් සම්මත කරගත් පාපන්දු නව ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ ආසන්නතම හේතුව බවද ජස්වර් පැවසුවා.

එහෙත් මේ වන විට ඇමතිවරයා නම්‍යශීලී බවකින් කටයුතු කර එම ව්‍යවස්ථාව අනුමත කර ඇති බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය ඒ අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවත් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා.

Read more

Local News