මන්නාරම බලශක්ති කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්යයට අද (15) සහභාගී වෙමිනුයි.
ප්රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කළ අතර දිවයිනේ බොහෝ ප්රදේශවලින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂික මඩු මංගල්යයට එක්ව සිටියා.
මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට, වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වනු ලබන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්රකාශය ප්රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ප්රධාන දේව මෙහෙයට එක් වූ ශ්රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්ය ඒකකය නිවේදනය කළේ.



