ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සමුළුවේ අවසන් දිනය පිලිපීනයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Share

ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සංගමය සංවිධානය කරන ලද ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සමුළුවේ අවසාන දිනය පිලිපීන පාර්ලිමේන්තුව වන කොන්ග්‍රසයේ දී දෙසැම්බර් 07 දින අති උත්කර්ෂවත් ලෙස පවත්වා තිබෙනවා.

මෙම උත්සවය පිලිපීන කොන්ග්‍රසයේ කතානායක ගරු Ferdinand Martin G. Romuldez ගේ ප්‍රධානත්වයෙන් සහ පිලිපීන කොන්ග්‍රසයේ නියෝජ්‍ය කතානායකවරුන්, කොන්ග්‍රස් සභිකයන්, විදෙස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් ඇතුළු 250 ට අධික අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

සමුළුවේ ප්‍රධාන දේශනය පිලිපීන පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් පවත්වන ලද අතර ඇගයීම පදනම් කරගත් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සදහා පිලිපීන පාර්ලිමේන්තුවේ කැපවීම ඔහු විසින් තහවුරු කර තිබෙනවා.

එසේම ප්‍රතිපත්ති සංපාදනයේදී පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නිවැරදි තොරතුරු සහ දත්ත පදනම් කරගැනීමේ අවශ්‍යතාවය ඔහු අවධානය කර තිබෙනවා.

ඇගයීම පිලිබද අන්තර්ජාතික පාර්ලිමේන්තු සංසදයේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් විසින් පාර්ලිමේන්තුව තුල ඇගයීමේ ක්‍රමවේදයක් ගොඩනැගීම සදහා මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාර්‍ය ඔහුගේ විශේෂ දේශනය පවත්වමින් පැහැදිලි කළා.

ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සංගමයේ සභාපති ආචාර්ය අසේල කළුගම්පිටිය විසින් “ඇගයීම පිලිබද මැනිලා සම්මුතිය” සමුළුවට ඉදිරිපත් කරන ලදි.

පිලිපීන කොන්ග්‍රසයේ කතානායකවරයා විසින් සම්මුතිය සදහා පළමුවෙන් අත්සන් තබන ලද අතර සමුළුවට සහභාගී වූ සියළුම නියෝජිතයන් තම රටවල් සහ ආයතන නියෝජනය කරමින් සම්මුතිය අනුමත කරන ලදි.

සියලුම සහභාගික රටවලට තිරසාර සංවර්ධනයක් සදහා ප්‍රබල අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලියක් ආයතනගත කිරීමට මැනිලා සම්මුතිය විසින් මාර්ගෝපදේශය සපයයි. එසේම පාර්ලිමේන්තුව තුළ ඇගයීම ආයතන ආයතනගත කිරීම සදහා මැනිලා සම්මුතුය පිටිවහලක් වේ.

පිලිපීන ජාතික කොන්ග්‍රසයේ පැවති උත්සවය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, ගරු සුජිත් සංජය පෙරේරා සහ රෝහිනී කවිරත්න යන මහත්ම මහත්මීන්ද සහභාගී වී තිබුණා.

එසේම සමුළුව සදහා රටවල් 39ක 200 ට අධික නියෝජිතයන් සහභාගී වූයේ එම රටවල ඇගයීම් සංගම්, සංවර්ධන නියෝජිතායතන, තරුණ සංවිධාන, එක්සත් ජාතින්ගේ ආයතන සහ විශ්ව විද්‍යාල නියෝජනය කරමිනි.

පිලිපීන කොන්ග්‍ර්සයේ පැවැත්වූ සමුළුවේ අවසාන දින වැඩසටහනේ සහ ප්‍රධාන සමුළුවේ, ශ්‍රී ලාංකික නියෝජිතවරුන්ගේ නායකත්වය සහ දායකත්වය ඉතා ඉහළින් ප්‍රදර්ශනය වූ අතර එය ශ්‍රී ලංකාවේ ඇගයීම් පද්ධතිය ශක්තිමත් කිරීම සදහා ප්‍රබල ලෙස දායක වනු ඇත.

සමුළුව අවසානයේදි, වසර 4ක සභාපතිත්වය නිම කරමින් ආචාර්ය අසේල කළුගම්පිටිය විසින් සභාපතිත්වය ජපාන නියෝජිතයා වෙත භාරදී තිබුණා.

Read more

Local News