විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.
මෙම වාර්තාවෙහි ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු කිරීම, විදුහල්පති සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම, සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර අනාගතයට සුදුසු පරිදි ව්‍යුහගත කිරීම, විදුහල්පති කාර්යභාරය, වගකීම් හා වගවීම්, විදුහල්පතිවරුන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද හා කුසලතා වර්ධනය සඳහා අවස්ථා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය යන කරුණු මීට ඇතුළත් ය.
දැනට 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ iii, ii, i ශ්‍රේණිවලට අයත් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට නිර්දේශ කොට තිබෙනවා.
වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000 සිට රුපියල් 15000 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වේ.
මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සමිති නියෝජිතයින් හා අධ්‍යාපන නිලධාරීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළා.



