මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා

Share

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලූ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රෙල් 01 වනදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මෙන්ම රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලූ පුරවැසියන් සිය හෘද සාක්ෂිය අනුවම කැපවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳ සිහිපත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට රටම එක්ව සිදුකරන දිවුරුම් දීමක් අප්‍රේල් 03 දා වනදා පෙ.ව 8.00 ට, බක්මහ දිවුරුම, නමින් සංවිධානය කර තිබේ.

උදෑසන රැස්වීමේ දී සියලූ පාසල් දරුවන් ඊට එක් කරගන්නා අතර, විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා ඇතුළු සියලූ රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශය ඇතුළු සියලූදෙනාට ඒ සඳහා විවෘත ආරාධනයක් සිදු කරන බව පැවසූ ජනාධිපතිවරයා අප්‍රේල් 03 වනදා උදෑසන 8.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ එම දිවුරුමී දීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ මැති ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයන්ට ආරාධනා කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් මේ වන විට ගෙන යන වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි.

කිසිදු බලපෑමකින් තොරව එම කටයුතු කරගෙන යෑමට නිලධාරින්ට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට කිසිදු බලපෑමක් අද සිදු නොවන බව ද සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මේ වන විට මිල ගණන් කැඳවා තිඛෙන බවත්, තවත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකි වනු ඇති බවත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීන්දුව කි්‍රයාත්මක කිරීම පිළිබඳ නැඟු ප්‍රශනයකට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ අනිවාර්යයෙන් ම එම තීන්දුව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.

ඊට විරෝධතා දක්වන කිසිවෙකු මත්ද්‍රව්‍ය උවදුරෙන් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට සහය ලබා නොදෙන  බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කවුරුන් විරුද්ධ වුව ද රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් එම වගකීම ඉටුකරන බව අවධාරණය කළේය.

Read more

Local News