ගාල්ල-බෙලිඅත්ත දුම්රියෙහි රියදුරුට ගල් ප්‍රහාරයක්

Share

ගාල්ල-බෙලිඅත්ත බලා ධාවනය කෙරෙමින් තිබූ දුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම දුම්රියෙහි රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.

අදාළ දුම්රිය ඊයේ(23) ඇඳිරිනීතිය පවතින අතරතුර රාත්‍රී 10.30ට පමණ ධාවනය වී ඇති අතර එහිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

දුම්රියෙහි රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බෙලිඅත්ත පොලීසිය කියයි.

ගාල්ල සිට බෙලිඅත්ත බලා රාත්‍රී 8.35ට ගමන් ආරම්භ කළ 766 B අංක දරණ දුම්රියට බෙලිඅත්ත උණන ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් රියැදුරුගේ ඇසකට තුවාල සිදුව ඇත.

රියැදුරුට තුවාල සිදුවුවද ඔහු දුම්රිය නොනවත්වා රියැදුරු සහයකගේ උදව්වෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සමත්ව ඇත.

බෙලිඅත්ත කරා දුම්රිය පැමිණි පසු තුවාලකරු 1990 ගිලන් රථ සේවාවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලය ක්‍රියාකර ඇති බව වාර්තා වෙයි.

ගල් ප්‍රහාරය හේතුවෙන් දුම්රිය එන්ජිමෙහි වම්පස ඉදිරිපස වීදුරුවට හානි සිදුව තිබිණි.

කෙසේවුවද එම දුම්රිය අද(24) පෙරවරු 6.30ට යළි බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගාල්ල බලා ගමන් ආරම්භ කළ අතර මෙම ප්‍රහාරය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුව නොතිබිණි.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News