ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකළ පෙත්සමක් කල් යයි

Share

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු රජය ජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 06වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ප්‍රසන්න ජයවර්ධන,එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවේය.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 6 වනදා කැඳවන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රජයේ බුද්ධි සේවා විසින් රජයේ බලධාරීන් වෙත කලින්ම තොරතුරු අනාවරණය කර තිබූ බවයි.

එසේ තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් හිටපු ආරක්ෂක ලේකම් ,පොලිස්පති ඇතුළු බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද නම් කර තිබූ අතර උන්වහන්සේ වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම කරුණට අදාළව ගොනු කර තිබූ තවත් පෙස්සම් කීපයක්ද ලබන 6 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read more

Local News