සත්‍ය ගවේශකයෝ ගොනුකළ පෙත්සම විභාගයට දින තීන්දු වෙයි

Share

කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබුවේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා මහතා දන්වා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වෙතත් සීමානිර්ණය කටයුතු වලින් පරිබාහිරව දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් නීතිමය අර්ථකථනයක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥ ඉගලහේවා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට දන්වා සිටියේ පළාත් සභා මැතිවරණය දිනෙන් දිනම කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි.

මේ හේතුවෙන් අදාළ මැතිවරණ  කඩිනමින් පැවැත්වීම අවශ්‍ය බවයි නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට නියම කරමින් එහි වගඋත්තරකරුවන් වන මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙත නොතිසි නිකුත් කිරීමට නියම කළේය.

විරෝධතා හෝ කරුණු දැක්වීම් තිබේනම් ඒවා අද දින සිට මාසයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය.

අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 09 වනදා කැඳවන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read more

Local News