අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
පැමිණිල්ල අද(21) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වනදා ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇත.
පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.
ඒ හරහා අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



