සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ල අගෝස්තු 26 දා යළි කැඳවන්න නියම වෙයි

Share

අධිකරණයට අපහාස කළ බවට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 26 වනදා යළි කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කර ඇත.

නීතිඥ සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන වසන්ත අල්විස් යන අය විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම පැමිණිල්ල අද(21) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී වගඋත්තරකාර මහාචාර්ය සරත් විජේසූරිය මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම චෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 26 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එදින ඒ පිළිබඳ කරුණු දක්වන්නැයි වගඋත්තරකාර පාර්ශවයට දන්වා සිටියේය.

උසාවිය නිහඬයි නමැති චිත්‍රපටියට අධිකරණය මඟින් නිකුත් කළ වාරණ නියෝගයක් විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කිරීම තුළින් සරත් විජේසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පැමිණිලිකරුවන් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Read more

Local News