ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් රාජකීය මරීන් භටයින් සිය බාරයට ගෙන ඇත.
මෙම සිදුවීම වාර්තා වන්නේ මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළයි.
යුරෝපා සංගමයේ සම්බාධක නොතකා සිරියාව වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් වෙත රාජකීය මරීන් භටයන් ඇතුළු වී එය අත්අඩංගුවට ගත් බව ජිබ්රෝල්ටර් රජය පවසයි.
බ්‍රිතාන්‍යය පාලනයේ පවතින ජිබ්රෝල්ටර් රාජ්‍යය පවසා සිටියේ ග්‍රේස් 1 නමින් හැඳින්වෙන මෙම නෞකාව සිරියාවේ බානියස් තෙල් පිරිපහදුව වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවට පැහැදිලි සාක්ෂි පවතින බවයි.
සිරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක සලකා බැලීමේදී මෙම තෙල් පිරිපහදුවද ඊට අයත් බව ජිබ්රෝල්ටර් බලධාරීන් පවසයි.
ඔවුන් පවසන්නේ තම අනුදැනුම මත රාජකීය මරීන් භටයන් එම නෞකාව සිය බාරයට ගත් බවයි.
කෙසේ වෙතත් අමෙරිකාව බ්‍රිතාන්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර මෙම නෞකාව ඉරානයේ සිට යාත්‍රා කරමින් තිබූ බව හෙළි වී ඇත.
එහි තිබූ ඉන්ධන ඉරාන ඉන්ධන බව තහවුරු වුවහොත් ඉරාන තෙල් අපනයනය මත පනවා ඇති සම්බාධක උල්ලංඝනය කර ඇති බවටද සිරියාවට චෝදනා එල්ල වනු ඇත.
කෙසේ වෙතත් මෙම අත්පත් කරගැනීම නීතිවිරෝධී බව පවසන ඉරානය ඒ පිළිබඳව විමසීමට ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත.




