අගමැතිගේ බලාපොරොත්තුව මෙන්න

Share

සංහිඳියාව ඔස්සේ සංවර්ධනය කරා යන ගමන වේගවත් කරලීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වව්නියාව, සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී අද (02) දින තරුණ කාන්තා හමුවකට සහ ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

වව්නියාවේ තරුණ කාන්තා සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට ශක්තියක් හා කැපවීමක් ඇති එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බවය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිසාව ද පවතින්නේ ඌණ සංවර්ධිතව බැවින් ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ලබාගැනීමට ක්‍රියා කරන බව ද අගමැතිවරයා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ දකීය.

“උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අපි ළඟදී විවෘත කළා.

එමඟින් උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක, හෝටල් සහ අනෙකුත් ක්ෂේත්‍රසංවර්ධනය වෙනවා. ඒ හරහා උතුරේ විශාල ආයෝජනයක් සිදු වෙනවා.

මෙමඟින් උතුරේ ජනතාවට රැකියා අවස්ථා රැසක් ඇති වන බව කිව යුතුයි.

මන්නාරම, පුනරීන් සහ වඩමරාච්චි යන ප්‍රදේශවල අපි අලූතෙන් ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නිලාවෙලි සිට උතුරු පළාත දක්වා තිබෙන මුහුදු වෙරළ අපි සංවර්ධනය කරනවා.

මේ සියල්ල සිදු වනවිට වව්නියාව එම සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව සඳහන් කරන්න කැමැතියි.

අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මෙම සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ උතුර සහ නැගෙනහිර ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමටයි.”

Read more

Local News