අපි කවදාවත් ජාතිවාදයට යට වුණේ නැහැ – රාජිත

Share

හැමතැනකදීම ජාතිවාදය වපුරවමින් උතුරට පැමිනි විට පමනක් “දේශපාලනය දෙමළ ජනතාවගේ අයිතිය” කියන බවත් ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් දෙන හැම විටම ප්‍රතිවාදී පක්ෂය විසින් එයට විරුද්ධ වුණ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා වවුනියාව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ දොස්තර රාජිත සේනාරත්න මහතා –

“අපි උතුරු නැගෙනහිර පළාතේ සියලු රෝහල් සංවර්ධනය කර තිබෙනවා. වතුකරයේ ජනතාවට සියලු පහසුකම් ලබාදුන්නා.

දැන් මේ ජනාධිපතිවරණය අවස්ථාවේ දී අපේ ප්‍රතිවාදීන් හැම තැනකම හැමවිටකම ජාතිවාදය ගොඩනගා ගෙන ඇවිල්ලා උතුරට ආවාම විතරක් බොරුවට කථා කරනවා දේශපාලනය, දෙමළ ජනතාවගේ අයිතිය කියලා.

දෙමළ ජනතාවට අයිතිය දෙන හැම විටකම ඔය පක්ෂය, කට්ටිය විරුද්ධ වුණා. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 13 වනි සංශෝධනය දෙන විට ඒකට විරුද්ධ වුණ ප්‍රධානතම කට්ටිය තමයි රාජපක්ෂවරු. එම දේශපාලන විසදුම පාරට බැහැලා කඩාකප්පල් කරන්න හැදුවා.

එදා ඉදලා හැම තැනකම සිංහල බෞද්ධ ජාතිවාදය ඔවුන් ගොඩනැගුවා. ද්‍රවිඩ, මුස්ලිම්, වතුකරයේ ද්‍රවිඩ ජාතියට මේ ඔක්කොටම එරෙහිව ක්‍රියා කළා. එදා රණසිංහ ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාවට පුරවැසිකම දෙනකොට ඒකටත් විරුද්ධ වුණා.

සිංහලයට හැර අනෙක් හැම ජාතියට දෙනකොටම මේ අය හැමදාම විරුද්ධ වුණා. මේ ජාතිවාදින් පරාද කරන්න තමුන්නාන්සේලාට අද අවස්ථාව උදා වෙලා තිබෙනවා.”

ජාතිය සමගිය සහිත එක්සත් රටක් ගොඩනගමින්, එක්සත් රටක් යටතේ අපි සියලු දෙනා බලය බෙදාගෙන සාධාරණව එකට එක සමානව අයිතීන් භුක්ති විදිමින් ක්‍රියා කිරීමේ අපේ පක්ෂයේ එම පරමාර්ථය ඇතිව තමයි ජනාධිපතිවරණයට මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරිපත්ව සිටින්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් ජාතිවාදයට යට වුණේ නැහැ. ජාතීන් අතර සමගිය ඇති කිරිමට එතුමා කටයුතු කළා. ජාති, ආගම්, කුල ඉවතලා එක පවුලක දරුවෝ වශයෙන් අපි කටයුතු කළ යුතුයි. අපි කිසි දවසක ජාතිවාදයට යටත් වෙන්නේ නැහැ.”

Read more

Local News