මෙවර ජනාධිපතිවරණයේදී භික්ෂුණීන් වහන්සේ 8000කට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවස්ථාවක් උදාවී අතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැවිදි භාවයට ඇතුළත් වූ භික්ෂුණීන් වහන්සේ දහස් ගණනක් සිටින බවට විවිධ ජනමාධ්‍ය වාර්තා සහ කොමිෂන් සභාව වෙත පැමිණීලි ගොනු කිරීමට පැමිණි භික්ෂූණීන් වහන්සේ වෙතින් කරුණු අනාවරණය වී ඇති බවයි.
භික්ෂූණීන් වහන්සේට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් භික්ෂුණී ලෙස සඳහන් කරමින් ජාතික හැඳුනුම්පත් නිකුත් නොකිරීම හේතුවෙන් එම පිරිසට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව එම ලිපියෙන් පෙන්වා දෙයි.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා භික්ෂූණීන් වහන්සේට ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි, භික්ෂුණීන් වහන්සේ භාවිත කරන හඳුනා ගැනීමේ පත්‍රයක් උපයෝගී කරගනිමින් ඡන්දය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් හැඳුනුම්පතක් සකස් කරදෙන්නේ නම් භික්ෂූණීන් වහන්සේගේ ඡන්දය භාවිත කිරීමේ හිමිකම තහවුරු කළ හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.




