ඝාතන වරදකරුවන්ට ජනපති සමාව දීම හෙළා දකිනවා

Share

රෝයල් පාර්ක් ඝාතන සිදුවීමෙහි වැරදිකරු වූ පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දා නිදහස ලබා දීම, නීති විරෝධී, මෙන්ම අසාධාරණ සහ අයුක්ති සහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

අධිකරණයක් විසින් නිසි පරිදි සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුව දෙන ලද දඬුවමක් රටේ ජනාධිපතිවරයා විසින් එක් පෑන් පහරකින් කපා හැරීම වූ කලී, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගරුත්වය සහ පිළිගැනීමද අහෝසි කර දමන ඛේදජනක ක්‍රියාවක් බව තම පාර්ශවයේ විශ්වාසය බවද ඒ මහතා පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක මහතා කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වු තොරතුරු පහත පරිද වේ,

“අප මේ අත්දකින්නේ මුදල් සහ සමාජ පංතිය විසින් මෙහෙයවනු ලබන පාලකයින්, නීතිය සියල්ලන්ටම එක හා සමානව ක්‍රියාත්මක වන්නේය යන මූලික මූලධර්මයට අභියෝග කරන විනාශකාරී, දූෂිත රාජ්‍ය තන්ත්‍රයක ප්‍රතිඵලයයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත් විට, මිනීමැරුම් සඳහා වැරදිකරුවන් වූ තැනැත්තන්ට ජනාධිපති සමාව ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ සඳහා සිර දඬුවම් ලබමින් සිටි ගෝනවල සුනිල්ට සමාව ලබා දීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මිනීමැරුම් සඳහා සිර දඬුවම් ලබමින් සිටි හිටපු අමාත්‍ය බිරිඳක් වූ මොනිකා ප්‍රනාන්දුට සමාව ලබා දීමත් මෙම අනීතික පාලකයින් පිළිබඳ අමිහිරි ඉතිහාසයට එක් වී ඇති බව අමතක නොකළ යුතුය.

එහෙයින් මෙය නීතියේ ආධිපත්‍යය සහ සමාජ සාධාරණත්වය පාගා දමමින් මේ තාක් පත් වූ පාලකයින් ගෙන ගිය සුපුරුදු ක්‍රියා පිළිවෙතකි.

නීතිගරුක සහ යහපත් සමාජයක් ඔසවා තබන කුලුනු තුනෙන් එකක් ලෙස අප විශ්වාස කරන්නේ නීතියේ ආධිපත්‍යයයි.
මෙවර ජනාධිපතිවරණයේ දී අප විසින් ජනතාවට ඉදිරිපත් කළ ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් එක් ප්‍රතිපත්තියක් වන්නේ, “අධිකරණයක් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකාරියක් මඟින් නියම කරන දඬුවමක් ලිහිල් කිරීමේ ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කිරීමයි” (පිටුව 94).

එමඟින් ජනාධිපතිවරයාද ඇතුළුව සියලු මහජන නියෝජිතයින් විශේෂ වරප්‍රසාද රහිත මහජන සේවකයින් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වන අතර, කාන්තාවන්, ළමයින් ඇතුළු සියලු පුරවැසියන්ට සුරක්ෂිත, නීතිගරුක රටක් බිහි කිරීමට එය දායක වනු ඇතැයිද විශ්වාස කරමු.

එහෙයින්, ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හෙළා දකින පොදු සිවිල් සමාජ හඬට කන් දෙමින්, එම තීරණය යළි සලකා බලා අහෝසි කිරීමට කටයුතු කරන මෙන් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද ඒ සඳහා මැදිහත් වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥ සංගමය ඇතුළු ආයතනවලින්ද ඉල්ලා සිටිමු.”

Read more

Local News