නවක වද චෝදනාවට අත්අඩංගුවට ගත් ඌව-වෙල්ලස්ස සිසුන්ට ඇප

Share

ඌව-වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් සිවුදෙනෙකු මානසික පීඩාවට පත්වන අයුරින් නවක වදය දී පහර දී තුවාල සිදුකළේයැයි චෝදනා ලැබූ එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ සිසුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (13) නියෝග කර ඇත.

ලබන වසරේ පෙබරවාරි 05 දින යළි නඩුව කැඳවන අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙ‍සටද සැකකරුවන්ට නියෝග කර ඇත.

ඉකුත් 10 වනදා මෙම සිසුන් 10 දෙනා බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ බලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතාගේ නියෝගය මත ලබන අද (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

1998 නවක වද පනත යටතේ නඩු පවරන බව පොලීසිය මුලදී අධිකරණයට දැනුම් දුන් නමුත්  එම පනතේ දෙකේ දෙක වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නිතිඥවරු අධිකරණයට පෙන්වා දී ඇත.

පොලීසිය අද දින එම තර්කය පිළිගත් පොලීසිය එම පනතේ 3 වගන්ති සහ ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 314 වගන්තියෙන් මේ නඩුව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව අධිකරණයට සැලකර ඇත.

මේ තත්ත්වය මත ඇප දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඇති බලය සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරයා, රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් 10 දෙනාම මුදා හැර ඇත.

Read more

Local News