ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු පෙරේදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ බැවින් සමාජජාල මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ, වෛරී සහගත ප්‍රකාශ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් තවදුරටත් පළ කෙරුණහොත් සමාජජාල අවහිර කිරීමට වුවද සිදුවිය හැකිබවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි.
ඊයේ(14) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සිදු කරනු ඇතැයි පැවසෙන අසත්‍ය ප්‍රකාශන මීට පෙර පළ වුවාක් මෙන් නැවත ප්‍රචාරය වීමට පටන් ගෙන ඇතැයි පැවසු මහින්ද දේශප්‍රිය මහතා, එය ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසීය.
ඒ අනුව මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් සමාජ ජාල අවහිර කිරීමේ තත්ත්වයකට වුවද යෑමට සිදුවනු ඇති බවට මහින්ද දේශප්‍රිය මහතා අනතුරු ඇඟවයි.



