ජොන්ස්ටන්ගේ අරමුණ

Share

රටේ හදවත බඳු වරායන් ඉතාමත් කාර්යක්ෂම වරායන් බවට පත් කිරීම සිය අරමුණ බව මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (25) උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයෙ හි පැවති සිය අමාත්‍ය ධුරයෙහි අභිනවයෙන් වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව හා එක්වෙමිනි.

එහිද අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

කොළඹ වරාය කාර්යක්ෂම වරායක් බවට පත්කිරීම යුගයේ අවශ්‍යතාවක් බැවින් සියලු වෘත්තීය සමිති ඇතුළු සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය බවත් පවතින ගැටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගනිමින් ඉදිරි සංවර්ධන කටයුතු උපරිම ශක්තියෙන් සිදුකරලීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“වරාය කියන්නේ හදවත වගේ තැනක්. විශාල ආදායමක් ලැබෙන තැනක්. අපේ අරමුණ මේ වරාය ඉතාම කාර්යක්ෂම වරාය බවට පරිවර්තනය කරගැනීම.

අපි දැක්කා ඉතිහාසයේ වරායේ කොහොමද වැඩ කටයුතු කරේ කියලා රජයේ පරිපාලනය යටතේ. විශේෂයෙන් වෘත්තීය සමිති සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා අපි එකතු වෙලා වැඩකරමු කියලා.

මේ වරාය කාර්යක්ෂම වරායක් කරන්න ඕන. ඒ සඳහා සියලු දෙනා සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂා කරන වැඩ කරන රටක් ආර්ථිකය දියුණු රටක් බවට පත්කරන්න ඒ දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි ලබාදෙන්න ඕන.

ඒ පණිවිඩය මේ අවස්ථාවේ දී මා ලබාදෙන්න කැමතියි. විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරමු. තියෙන ප්‍ර‍ශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බලමු.

මම සාකච්ඡා මාර්ගයෙන් ප්‍ර‍ශ්න විසඳාගැනීම විශ්වාස කරන ඇමතිවරයෙක්. මම විශ්වාස කරනවා තමුන්නාන්සේලාගේ උපරිම සහයෝගය මට ලබාදෙයි කියලා. ඒ වගේම මම එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් විදියට ජාතික සේවක සංගමයේ කටයුතු කරලා තියෙනවා.

අපේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් සමගත් මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපට එකතු වෙලා මෙතන ඉතාමත් ආදර්ශමත් තැනක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා.

ඒකට සහයෝගය ලබාදෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් දැනුම් දෙනවා.

ඒ වගේම තමුන්නාන්සේලා සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.”

Read more

Local News