2019 පාසල් වාරය තව දින තුනකින් (03) නිමාවට පත්වීමට නියමිත බවත් එසේ තිබියදීත් 2020 වසර වෙනුවෙන් නියමිත නිල ඇඳුම් දරුවන්ට ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනීම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
නිවේදනයක් නිතුක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරපත් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් ව තිබූ අතර, ඒ අනුව ඊළඟ වර්ෂවල දී නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදෙන්නේ ද, රෙදි ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ලැබී නොතිබිණි.
මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වර්ෂයේ පැවති මිළගණන් යටතේ ම නිල ඇඳුම් සඳහා වවුචරපත් ලබාදීමට අදාළ ව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක් ලබා දී නොමැත.
එබැවින් හෙට දින (27) මේ සම්බන්ධ ව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගන්නා බව ද සහතික කර සිටියි.



