පාර්ලිමේන්තුව එළැඹෙන මස 03 වනදා දක්වා කල් තබනු ලැබුවේ කෝප් කමිටු වාර්තාව සභාගත කිරීම වැළැක්වීමේ අරමුණින් නොවන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
මාළඹේ ප්‍රදේශයේ ඊයේ(08) පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් දැනට නඩුවක් පවරා ඇති බවත්, එහි ප්‍රධාන විත්තිකරු එහි නොමැති බවත්ය.
ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවත් පැවසු ඒ මහතා, වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේය.
එය ජනවාරි 3 වන දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කමිටු සෑදිමෙන් පසුව එයට මෙම වාර්තාව ඉදිරිපත් කර සභාගත කිරීමට කටයුතු කරන බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
එම වෝහාරික වාර්තාව අනුව අලුතින් නඩු පැවරීම් විය හැකි බවත් පැවසු ඒ මහතා, කෝප් කමිටු වාර්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව කිසිදු අවස්ථාවක කල් නොදැමු බවත් කියා සිටියේය.
ඕනෑම නව ජනාධිපතිවරයෙක් පත්වීමෙන් අනතුරුව එම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, සාමාන්‍ය පෙළ විභාගය 12 වෙනිදා අවසන් වීමෙන් අනතුරුව නත්තල් සඳහා රටම සුදානම් වන බවත් දීර්ඝ ලෙස සියලු දෙනා මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටි බවත් එනිසා මාසයක් පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රායෝගික ක්‍රියාවක් බවත් පැවසීය.
පාර්ලිමේන්තුව 3 වෙනිදාට කල්දැමීම දේශපාලන පක්ෂ විසින් මහා ලොකු දෙයක් නොවන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සියයට 3 ක ප්‍රතිශතයක් ඡන්දය ලබා ගෙන තාමත් පාඩම් ඉගෙන ගෙන නැතැයි ද කියා සිටියේය.
අනවශ්‍ය දේවල් ප්‍රකාශ කිරීමට යෑමෙන් ඒ සියයට 3ත් අඩු වෙන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, බැඳුම්කරය ගැන දැන් කථා කරත් දින 52 ආණ්ඩුව පැවති කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට කටයුතු කළ බවත් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.



