මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව රජයේ නිල ස්ථාවරය ජනතාවට ප්‍රකාශ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ යහපාලන රජයේ සමයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව විපක්ෂය විසින් විශාල බිල්ලෙකු මවා පෙන්වු බවයි.
“MCC ගිවිසුම ගැන පසුගිය කාලේ පුරාවටම විපක්ෂේ උදවිය විශාල බිල්ලෙක් මැවුවා.
අද ඒ අය බලයට පත්වුණාම මේ ගිවිසුම පිළිබඳව ආණ්ඩුවේ වගකිව යුතු කවුරුත් හරි ප්‍රකාශයක් කරන්නේ නෑ.
උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාත් දැන් කියන්නේ ගිවිසුමේ සියයට 70ක් හොඳයි කියලා.
අපි ආණ්ඩු කරද්දී විදේශ ගිවිසුම් ගැන කතා කරද්දී මේ අයට ලොකු මොලේ අමාරුවක් තිබුණා.
දැන් ඒ මොලේ අමාරුව සියයට 70ක තත්ත්වයට පත්වෙලා.
මම හිතනවා මේ ගිවිසුම ගැන රජයේ නිල ස්ථාවරය ජනතාවට ප්‍රකාශ කළ යුතුයි.
අපි MCC ගිවිසුමට එළඹෙන්න හැදුවේ කැබිනට් අනුමැතියකින් පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවේ අනුමැතියත් එක්ක.
මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් කළා මේ රටේ ජනතාවට මේක බිල්ලෙක් විදිහට පෙන්නන්න.
බිල්ලා මවලා තමයි ඔවුන් මේ ඡන්දය ගත්තේ.
MCC පිළිබඳ ඔවුන් කියන කාරණා ගැන අපි ලබා දීපු උත්තර අපේ ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රමාණවත් නෑ කියන එක ඇත්ත.”