වත්මන් රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ ජනතාවට මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන බවත් නැවතත් බෝම්බ පිපිරෙන්නේ නොමැති බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
රටේ ජාතික සංහිදියාව ආගමික සහජීවනය අවශ්‍ය බවත් ජාතික සංහිදියාව හා ආගමික සහජීවනය නොමැතිව රටක් ගොඩනැගීමට නොහැකි බවත් අමාත්‍යවරයා පවසයි.
එනම් ජාතික හා ආගමික සංහිදියාව ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද අමාත්‍යවරයා එහිදි පෙන්වා දෙයි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
” ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරලා එතුමාගේ මුල්ම කතාවෙන් කිවුවා මම ආරාධනා කළා දෙමළ සහ මුස්ලිම් ජනතාවට ජයග්‍රහණයේ කොටස් කරුවන් වෙන්න කියලා.
නමුත් බහුතරයක් මුස්ලිම් දෙමළ ජනතාව දායකත්වය ලබා දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් දායකත්වය ලබා දෙන්න කියලා එතුමා කිවුවා.
දැන් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව අපිට ආසන 120 ක් 125 ක් අතර සංඛ්‍යාවක් ගන්න පුළුවන්.අද මුස්ලිම් ජනතාවට අලුතින් හිතන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.
තමුන්නාන්සේලාගේ හිත් ඔබගේ නායකයින් විසින් දුෂණය කළා.ඔවුන් කිවුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවොත් මුස්ලිම් ජනතාවට හිරිහැර කරයි කිවුවා.
නමුත් එහෙම වෙන්නේ නැහැ.මේ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංහල බෞද්ධ ජනතාවට මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය ලබා දෙනවා.
දැන් ආයෙත් බෝම්බ පිපිරෙන්නේ නැහැ. මුස්ලිම් ජනතාව තමයි වැඩි වශයෙන් ව්‍යාපාර කරන්නේ.වැට් බද්ධ අඩු කළා තවත් බදු වර්ග කිහිපයක් අහෝසි කළා ඒවාගේ ප්‍රථිඵල දැන් සියලු ජනතාවට ලැබෙනවා.
ඒ නිසා ඔබ සියලු දෙනාම දැන් වැරදි අදහස් වලින් තොරව අපි සියලු දෙනා සමග එක් විය යුතුයි.ඉදිරි මැතිවරණයේදී එක්ව කටයුතු කරන්න.
මේ රජයට ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ලං වෙන්න ඕන.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිංහල ජනතාව බහුතරයක් ඡන්දය ලබා දුන්නාට සියලු ජනතාවට ප්රතිලාභ හිමි වෙනවා.
අපිට මේ රටේ ජාතික සංහිදියාව ආගමික සහජීවනය අවශ්‍යයි.ජාතික සංහිදියාව හා ආගමික සහජීවනය නොමැතිව රටක් ගොඩ නගන්න බැහැ.
මොකද අපි ගොඩ නගන දේ සුළු මොහොතකින් වෙනස් වෙනවා.ජාතික හා ආගමික සංහිදියාව ප්‍රායෝගිකව පෙන්වන්න ඕන.අද ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා.
අද අපි වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම නිදහස් නිවහල් රටක් බවට පත් වෙලා තියෙනවා. රට ආරක්ෂා වුණා. දැන් පොහොර සහනාධාරය දෙසැම්බර් මාසයේ ඉදලා ලබා දෙනවා.
වැට් බද්ධ අඩු කළා .සිමෙන්ති මිළ රුපියල් සියකින් අඩු කරලා තියෙනවා.ලක්ෂයකට රැකියා ලබා දෙනවා.අපි හැම වේලේම කියන්නේ උසස් පෙළ උපාධි මේවා සමත් වුණු අය ගැන විතරයි.
නමුත් මේවා සමත් වෙන්න බැරිව ඉන්න පිරිසක් ගමේ ඉන්නවා.ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිවුවෙත් දුප්පත් තලයේ අය ලක්ෂයකට රැකියා දෙන්න ඕන කියලා.
ඒ තුළින් ගමේ දුප්පත්කම අඩු වෙනවා.ඉදිරියේදි අපි උපාධිධාරී සියලු දෙනාටම රැකියා ලබා දෙනවා.අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා. අපි අප්‍රේල් මාසය වන විට මැතිවරණයකට යන්න ඕන.
ඡන්දයෙන් පස්සේ අපිට බහුතරයක් සහිත රජයක් පත් කර ගන්න පුළුවන් ඊට පස්සේ අපිට සංවර්ධන කටයුතු කර ගන්න අවස්ථාව ලැබෙනවා.දැන් ඉදිරියේදී ගමේ සංවර්ධනයටත් මුදල් එනවා ඒ සදහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.”



