වාස් ගුණවර්ධනගේ නඩුව යළි කැඳවන්න දින නියම වෙයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා විසින් මෙම නඩුවට අදාළව විත්තිය විසින් ඉල්ලා තිබූ ලේඛන කීපයක් අද විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට භාරදීම සිදු කළේය.

එමෙන්ම මෙම නඩුවට අදාළව පරිගණක සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා ද විනිසුරුවරයා විසින් විත්ති පාර්ශ්වයෙන් ඔවුන්ට අවසර දෙනු ලැබුවේය.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියම කළේය.

2010 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක මුදලක් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News