කැලිකසළ ආනයනට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 13 වැනිදාට

Share

විදේශවලින් කැලිකසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති නඩුවකට අදාල නඩු ගොනුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊට අදාළව නිකුත් කිරීමට නියමිතව තිබූ තීන්දුවක් ප්‍රකාශ කිරීම ජනවාරි මස 13 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අනාවරණය වුණේ මෙම නඩුවට අදාළ නඩු ගොනුව සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව නඩුවේ විමසීම ජනවාරි මස 13 වනදා තෙක් කල් තැබිමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

විදේශවල සිට ආනයනය කරන ලද කැලිකසල පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණය විසින් රජයේ රස පරීක්ෂක වරයාට නියෝගයක් නිකුත් කර තිබුණි.

එහෙත් එම කැලිකසළ පරික්ෂා කිරීමට තමන්ට පහසුකම් නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට දැනුම් දීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය විසින්  නියෝගයක් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

විදේශවල සිට කැලිකසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

Read more

Local News