නුවර පාරේ කැලණි පාලම අසළින් එක් මංතීරුවක් තාවකාලිකව වසයි

Share

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කැලණි පාලම අබියසින් කොළඹ දෙසට පවතින එක් මංතීරුවක් අද සිට තාවකාලිකව වසා දමන බව මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 

ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ වන පාලම් කොටසේ ඉදිකිරීම් හේතුවෙනි.

මේ අනුව අද සිට ලබන මස 20 වැනි දා දක්වා එම මංතීරුව වසා තැබෙනු ඇති.

මේ හේතුවෙන් කඩවත සිට කොළඹ දෙසට පැමිණෙන බර වාහනවලට, කඩවත අන්තර් හුවමාරුව භාවිත කරමින් කෙරවලපිටිය දක්වා පැමිණ, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩින් දකුණු දෙසට ගමන් කර පුත්තලම මාර්ගය ඔස්සේ නවලෝක වටරවුමට පැමිණ ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹ වරාය පිවිසුමට ළඟා විය හැකියි.

ඊට අමතරව සුගතදාස ක්‍රීඩාංගණය දක්වා පැමිණ කොටහේන සහ කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ හැකි වේ.

අධිවේගී මාර්ගය භාවිත කළ නොහැකි සියලු රථවාහන මහර, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවලින් වත්තලට පැමිණ කොළඹ – පුත්තලම මාර්ගයෙන්, ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ළඟා විය හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

සෙසු ප්‍රදේශවලින් කොළඹ දෙසට පැමිණෙන රථවාහනවලට නව කැලණි පාලමේ ඉදිකිරීම් සිදු කෙරෙන ප්‍රදේශය මග හැර කොළඹට පැමිණෙන්නැයි ද මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read more

Local News