පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබද වාර්තාවක් පොලිස් කොමිසම කැඳවයි

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය, නියමිත ක්‍රියාපිළිවෙත අනුගමනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

 

පොලිස් කොමිසම ලබන 27 වනදා රැස්වන අතර එදිනට ඒ පිළිබඳ   වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම් දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත පොලීසිය විසින් අනුගමනය නොකර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් පසුගිය 20 වනදා පොලිස් කොමිසමේ සභාපතිවරයාට  ලිපියක් යොමුකර තිබුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේනම් ඊට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතු අතර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී එම ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි වාර්තා වෙයි.

Read more

Local News