කටුනායක වන්තොටුපල පරිශ්‍රය අවට නව රථවාහන සැලැස්මක්

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

 

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එක්ව මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බව ගුවන්තොටුපල කළමනාකාර ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම රථ වාහන සැලැස්මට අනුව කොළඹ-මීගමුව දෙසින් ගුවන්තොටුපල වෙත පැමිණෙන විට හමුවන පිවිසුම ප්‍රධාන පිවිසුම ලෙස භාවිත කිරීම සිදුවෙයි.

ඒ අනුව කොළඹ – මීගමුව දෙසින් පැමිණෙන වාහන සහ මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන ප්‍රධාන පිවිසුම ඔස්සේ කටුනායක ගුවන්තොටුපල වෙත ඇතුළු විය යුතුයි.

ඉන් පසුව එම වාහන ගුවන්තොටුපල පැමිණීමේ පිටවීමේ පර්යන්ත වෙත ප්‍රවේශ විය යුතු ආකාරය සංඥා පුවරු මඟින් සහ ආරක්ෂක අංශ මඟ පෙන්වීම යටතේ සිදුකෙරෙයි.

මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන සහ මිනුවන්ගොඩ දෙසට ගමන් ගන්නා වාහන සඳහා පෙර පරිදිම ගුවන්තොටුපල ඉදිරිපිට කටුනායක මිනුවන්ගොඩ මාර්ගය තවදුරටත් භාවිත කළ හැකියි.

එහෙත් මිනුවන්ගොඩ දෙසින් කටුනායක ගුවන්තොටුපල වෙත පිවිසෙන මාර්ගයේ මෙතෙක් ස්ථාපිත කර තිබු ගුවන්තොටුපලට ඇතුළු වන පිවිසුම වසා දමා ඇති අතර ඒ අසලම ස්ථාපිත කර තිබු ගුවන්තොටුපලින් බැහැරට පිටවීමේ ගේට්ටුව ද වසා දමා තිබේ.

මිනුවන්ගොඩ මාර්ග ඔස්සේ ස්ථාපිත කර තිබු ප්‍රධාන පිටවීමේ දොරටු දෙක ඒ ආකාරයෙන්ම වාහන ගුවන්තොටුපලෙන් පිටවීම සඳහා විවෘතව පවතින බව ගුවන්තොටුපල කළමනාකාර ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Read more

Local News