සිව්වැනි සැසිවාරය විවෘත වීමෙන් පසු එදිනම පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 03 වැනිදා පෙරවරුවේ විවෘත කිරීමෙන් පසු එදිනම දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය වී තිබේ.

 

ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව ප.ව 12.30 ට  පක්ෂ  නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ  කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය  යොමු කිරීම‍ට තීරණය විය.

මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීය.

එදින පාර්ලිමේන්තු රැස්වීමේදි විවාදයට ගනු ලබන විෂයන් ඉදිරියේදී දැනුම්දෙන බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ පක්ෂ නායකයන් සඳහන් කර තිබේ.

එහිදී නව පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකු  කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ  ගරු කථානායකතුමා  විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම   අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය විය.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීන් විසින් ලබන 03 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් ජනාධිපතිතුමන් විසින් විවෘත කිරීමේ උත්සවයට අදාල න්‍යාය පත්‍රය ඇතුළු අනෙකුත් කටයුතු පිළිබඳව පක්ෂ නායකයන් දැනුවත් කර තිබේ.

මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කැබිනට් ඇමතිවරුන් වන ගරු නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ මහින්ද අමරවීර යන මහත්වරුද විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, එම් ඒ සුමන්තිරන්, අජිත් පී. පෙරේරා සහ නිරෝෂන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

Read more

Local News